මල් පූජාව කිවුවාම ඒකට ගාථාවක් තියෙනවා. පැන් පූජාව කිවුවම ඒකට ගාථාවක් තියෙනවා. සුවඳ දුම්, දැහැත්, ඔක්කොටම ගාථාවක් තියෙනවා. හැබැයි මුදල් පූජාව කිවුවම එහෙම ගාථාවක් මතක් වෙන්නේ නැත්තේ ඇත්තටම එහෙම එකක් නැති නිසානේ. ඒත් මිනිස්සු මුදල් පූජා කරනවනේ.. මේක ගැන බැලුවොත් සමාජේ මිනිස්සු ඒකටත් දෙපැත්තකට බෙදිලා මරාගන්නව. අන්න ඒ කොටස් දෙක ගැන අදහසක් ලියන්නයි යන්නේ..
අපි පන්සලකට ගියාම අපි දකිනවා පිං කැට. සාමාන්‍යෙන් පන්සලක දෙකක් තුනක් තියෙනවාමයි. විදුලි ආධාර කියල නමක් ගහලත් තියෙනවා සමහර ඒවගේ. ඔව් ඉතිං. හාමුදුරුවන් වහන්සේලා රැකියාවකට නොයා ගමේ සේවයක් කරගෙන පන්සලේම වැඩ ඉන්න තැන් තියෙනවා. අන්න ඒ තැන් වලට කියලා රජයෙන් අඩු මුදලට විදුලිය දුන්නට නොමිලේ දෙන්නෙ නෑනේ. ඒ නිසා එහෙම කවුරුන් හෝ සිත් පැහැදීමෙන් දෙන කීයක් හරි වටිනවාමයි..!
අනික දැන් කාලෙ ගත්තම පන්සලක වත් නිකං වැඩක් කරලා දෙන්න බාසුන්නැහේ කෙනෙකුට බෑ. එදා වැඩ කලේ නැත්නම් පහුවදා ගෙදර මිනිස්සු බඩගින්නේ.. ඒක නම් ඉතින් මොන රැකියාවක් කලත් නිවැරදි මුදල් පරිපාලනයක් නැති කම තමයි. ඒත් දැන් තියෙන තත්වෙ හැටියට පන්සලක වැඩක් කරගන්න බාස් කෙනෙක් ගෙන්න ගන්නත් බෑ මුදලක් නැතිව. ඒ නිසා පන්සලට මුදලක් සැදැහැ සිතින් පරිත්‍යාග කිරීම අත්‍යාවශ්‍ය කාරණාවක් වෙලා ඉවරයි. හදිස්සියක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ලෙඩක් වුනත් වීල් එකක් ආවත් ඒකට සල්ලි දෙන්නම එපැයි.
අන්න එහෙම මුදලක් පන්සලට දායක කිරීම එක කාරණාවක්. ඒකේ කවුරුත් වැරැද්දක් දකින්නේ නෑ මම දන්න තරමට නම්. සමහරු නම් කියනවා හාමුදුරුවන් වහන්සේලාට මුදල් භාවිතය අකැපයි කියලා. ඒ නිසා එහෙම මිල මුදල් භාරගන්න හොඳ නැහැයි කියලා. හැබැයි ඉතිං දැන් සමාජේ තත්වේ ඒ අය තේරුම් අරන් නැහැයි කියලා මට නම් හිතෙන්නේ..
හැබැයි සමහර හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා බණක් කියන්න මෙච්චරයි, දානෙකට මෙච්චරයි, දානෙට මේවා අනිවාර්‍යෙන් ඕනේ වගේ නීති දාන අය. අන්න ඒකනම් බොහොම නරක වැඩක් විදියටයි මම නම් දකින්නේ. සරළවම කිවුවොත් ධර්මය විකුණාගෙන ජීවත් වෙනවා වගේ. කොන්ත්‍රාත්තුවක් වගේ. මේ ගාන දුන්නොත් මේක කරන්නම්..
බණක් කියන්න හෝ දානෙකට වඩින්න හාමුදුරුවන්ට වාහනේකට හෝ, පන්සලේ වාහනයක් තියෙනවනම් ඒකට තෙල් ගහන්න, රියදුරු මහතාට පඩි ගෙවන්න යම් මුදලක් වැය වෙන බව ඇත්තයි. එහෙම කාරණාවකට ආරාධනාවක් ලැබුණම මෙන්න මේ කාරණා වලටත් මෙපමණ විතර මුදලක් වැය වෙයි කියලා ඒ පුද්ගලයන්ට මතක් කරලා දෙන එකත් සාධාරණයි. ඒත් "මට මේ ගාන ඕනේ"..? හිතන්න වෙන කාරණාවක් ඒක නම්..
දානෙකට ආරාධනාවක් කරන්න ගියාම හාමුදුරුවන් වහන්සේට ගුණ අගුන මොනවද, මස් මාංශ වළඳනවද, නැද්ද කියල මතක් කරලා දෙන එක සාධාරණයි. අපේ පන්සලේ වැඩ කරන මිනිස්සුන්ටත් දානේ ටිකක් අවශ්‍යයි, රියදුරු මහතාටත් අවශ්‍යයි කියලා මතක් කරන එක සාධාරණයි. ඒත් මේ මේ දේවල් අනිවාර්‍යෙන් තියෙන්න ඕනේ.. මෙච්චර වියදමක් මට ඕනේ කියලා අණක් දෙන එක?
සමහර පැති වල නම් මම මේ කියන කාරණා හාමුදුරුවන් වහන්සේලා කරන්නේ නෑ. බොහොම ගුණ යහපත් හාමුදුරුවන් වහන්සේලා බොහෝමයි. ඒ අතරින් පතර මම මේ දැකපු කිහිප දෙනෙක් ගැනයි මම මේ කතා කරන්නේ.. පොදුවේ. මම නොදැකපු අයත් ඇතිනේ මේ හා සමාන ස්වාමීන් වහන්සේ කෙනෙකුට නොගැලපෙන ක්‍රියාවන් වල යෙදෙන..
මේ වගේ ක්‍රියාවන් ගැන නම් ගමේම උදවිය එකතු වෙලා කතා බහ කරලා බෞද්ධ සමිතියක් පිහිටුවාගෙන තීරණයක් ගන්න ඕනේ. ඒ හාමුදුරුවන් වහන්සේට ඒ ගැන තේරුම් කරලා දෙන්න හෝ තව දුරටත් ගමේ දේවල් වලට ඒ හාමුදුරුවන්ට ආරාධනා කරනවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගැනීම ගමේ උදවිය සතුයි..!
ඒ කාරණාවල් පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මම කතා කරනවා මෙ මිල මුදල් හා ආගම සම්බන්ධ වෙනම මාතෘකාවක් ගැන.
පන්සලකට ගියාම අපි දකිනවා බුදු පිළිම වහන්සේලා පාමුල, එහෙම නැත්නම් බෝධීන් වහන්සේලා පාමුල, පිළිම වහන්සේලා තැන්පත් කර ඇති වීදුරු කුටි තුළ හැම තැනකම සිල්ලර කාසියි, කොළයි. ඇයි එහෙම? අන්න ඔතනදී තමයි මම අර කිවුව මිනිස් දෙකොට්ඨාශයේ ප්‍රශ්ණේ මතු වෙන්නේ.. කොටස් දෙක තමයි සල්ලි එහෙම දාන අය සහ ඒකට බනින අය. දැන් අපි ඔය දෙක වෙන වෙනම අරන් බලමු.
ඉස්සෙල්ලම මම ගන්නවා බනින පිරිසව. එයාලා කියන්නේ ඇයි මේ මිනිස්සු මෝඩ වැඩ කරන්නේ? මොන තරම් කැත වැඩක්ද? බුදු කුටියක වීදුරු අස්සෙන් යන්තම් හිලක් දැක්කොත් කොහොමහරි ඒකෙන් සල්ලි ඔබනවා. මොකක්ද මේකේ පරමාර්ථය. සිදුහත් කුමාරයා බුදු වුනේ සියළුම ධන ධාන්‍ය දැසි දසුන් අතෑරලා දාලා. ඒවා අනිත්‍ය බව අවබෝධ කරලා. ධර්මය තේරුම් නොගත් අපේ මිනිස්සු ආපහු උන් වහන්සේගේ දෙපා මුලට සල්ලි විසිකරනවා..
ඔව් ඉතිං.. බලාන ගියාම කතාව සම්පූර්ණ ඇත්ත. පැරණි ඓතිහාසික ප්‍රථිමා වහන්සේ කෙනෙක් ලඟ බැලුවොත් පාමුල කාසි පිරිලා. හරිම කැත දසුනක්. සල්ලි දාන්නම ඕනෙ අයට පින් කැටයක් තියලා තිබ්බත් දාන්නෙම අර වීදුරු කුටියේ සිදුරු අස්සෙන්.
බනින අය මෙහෙම බැන්නට ඔයාලා කවදාවත් දැකලා තියෙනවද එහෙම ඒ තැන් වලට සල්ලි දාන පිරිසක් මේකට උත්තර දීලා වාද කරනවා? එහෙම නැත්නම් ෆේස්බුක් එකේ හරි මොකේ හරි තැනක මේ වගේ පත හෑලි ලියලා දානවා? එහෙම නැත්තම් එහෙම සල්ලි දාන එක හරියි කියලා කොහෙවත් වාද විවාද හරි කරනවා? ඇයි එහෙම නැත්තේ? එයාලට හේතු දක්වන්න මෙච්චර අවකාශ තියෙද්දිත් ඇයි එහෙම නොකරන්නේ? අන්න හොඳ ප්‍රශ්ණයක්. තේරුම් ගන්න ඕනේ මෙතනයි.
මෙන්න මේක තේරුම් ගන්න නම් අන්න එහෙම සල්ලි විසි කරන සෙනග ගැවසෙන තැනකට යන්න. ගිහිං ටික වෙලාවක් බලාගෙන ඉන්න. මම නම් එහෙම කරන පිරිස් කිහිපයක්ම දැක්කා. වැඩියෙම්ම ඔය වැඩේ කරන දෙපිරිසක් ඉන්නවා. එක පිරිසක් වයසක අම්මා තාත්තලා.. ඇවිදගන්නවත් හරි හැටි වාරු නෑ බොහෝ විට. ඒත් ඉනේ හරි හැඹිලියේ හරි හංගං එන පඩුරක් ගෙනල්ලා බොහොම අසීරුවෙං බුදු පාමුලට විසි කරනවා. පිං කැට තිබ්බත් ඒ පඬුර වැටෙන්න ඕනේ බුදු පාමුළ කියලයි ඒ අය විශ්වාස කරන්නේ. දරුවා හෝ තරුණ කෙනෙක්ගේ වාරුවෙන් ඇවිත් බොහොම ශ්‍රද්ධාවෙන් තමා මේ කාරණාව කරන්නේ.
මං නම් ඇයි අම්මේ එහෙම කලේ කියලා අහන්න ගියේ නෑ. හැබැයි එහෙම ඇහුවනම් 100%ක් නිවැරදි උත්තරයක් ගන්න තිබුනා. හැබැයි මං හිතල බැලුවම මට මෙහෙම හිතුනා. සමහරවිට ඒ ආච්චිලා සීයලාට තියෙන එකම වස්තුව ඒක වෙන්න ඇති. සමහරවිට අවුරුදු ගානක් වන්දනාවෙ යනකොට මේ මේ තැන් වලට පූජා කරනවා කියල හිතාගෙන හිටපු කාසි පඬුරු වෙන්න ඇති. ඒක කැටේකට දානවට වඩා බුදු පාමුලට දාන්න එයාලා ආස ඇති. එයාලාගේ හිතේ ඇත්තේ එච්චරයි. එයාලත් වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවනේ. හිතුවක්කාර වෙනවා. කියන දේම කරන්න ඕනේ. හිතෙන දේම කරන්න ඕනේ. අන්න ඒ නිසා එයාලා ශ්‍රද්ධාවෙන් කරන වැඩේට අපිට මොකුත් කියන්න බෑ. කැතයි, වැඩක් නෑ තමයි. හැබැයි එයාලට ඊට වඩා දෙයක් තේරෙන්නෙ නෑ, ඕක දාලා වැඳලා පුද පූජා කරලා ගියානම් එයාලගේ හිත නිදහස්..
දෙවෙනි පිරිස තමයි පුංචි දරුවො ඉන්න දෙමව්පියෝ. යන්තම් ඇවිදින වයසේ ඉඳන් අවුරුදු 5-6 වගේ වෙනකන් දරුවෝ ඉන්න දෙමව්පියෝ දරුවා අතට කාසිය දීලා පුතේ අන්න අතනට කාසිය දාන්න කියලා අතින් අල්ලලා කියාදෙනවා. ඒකෙන් වෙන නොවෙන දේ ගැන එයාලා හිතන්නේ නැතිව ඇති. එයාලට ඕනේ දරුවන්ව සතුටු කරන්න. දරුවොත් ඒකෙන් සතුටක් ලබනවා. ඒත් ඉතිං එයාලනම් දරුවන්ට දෙන්නේ වැරදි අදහසක් කියලයි මං හිතන්නේ.. ඒත් ඒ දරුවො ලොකු වෙනකොට හරි වැරදි දේවල් තේරුම් ගන්නවා. ගොඩක් වෙලාවට ඔය බනිනවා ඇත්තෙත් පොඩි කාලේ අම්ම තාත්තා අතින් අල්ලලා කාසි විසික් කරපු උදවියම වෙන්නැති නේද..
කෙසේ නමුත් මේ දෙවැනි පිරිස දරුවන්ට දෙන ආකල්ප නිවැරදි කරන එක නම් අපි කරන්න ඕන දෙයක් විදියටයි මම දකින්නේ. එතකොට දැනට ඉන්න වැඩිහිටි පරම්පරාව නැති කාලෙකවත් අපේ ඉතිහාසය ලස්සනට තියේවි නේද..?
======================================================================
======================================================================
ඔයාලගේ අදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙන යන්න.
තෙරුවණ් සරණයි..!
0 Comments