වෙලඳ දැන්වීම්

ඇත්තටම එයා රහත් ද?


        "එයා රහත්" කියද්දිම 90%ක් ගේම හිතට නිතැතින්ම එන්නේ ඉස්සර අපි පිටිදූවේ සිරිධම්ම හිමි කියල කියපු, දැන් සමන්තබද්‍ර හිමි කියන කෙනා ගැන කියල මං දන්නව.. ඇත්තටම මං මේ කතා කරන්නෙ උන් වහන්සේ ගැන තමයි, හැබැයි නෙවෙයි.


        මං මේ කියපු කතාව තේරෙන්න ටිකක් ඉස්සරහට කියවන්න. මං කැමතියි හිතේ බර ටිකක් පැත්තකින් තියලා, ඇත්තටම එයා මහ මෝඩයෙක්, මේ ලිපි ලියන්නෙ මොකාද? කඩේ යන එකෙක්, නැත්නම් ඔව් ඒ හාමුදුරුවො රහත් කෙනෙක් වගේ සියළුම ඔයාගේ පවුද්ගලික මත ටික පැත්තකින් තියෙලා මේක කියවලා ආයේ ඒ ටික ඔලුවට ගන්න...

        රහත් කියන වචනේ ඇත්තටම අපි දකින්නෙ කොහොමද? මේක කියවිල්ල චුට්ටකට නතර කරලා ඇස් දෙක පියාගෙන මෙන්න මේ කාරණාව හිතන්න. ඔයා ඇත්තටම රහත් කෙනෙක් යැයි හිතන කෙනෙක් ලඟ තිබිය යුතු ගුණාංග මොනවාද කියලා සම්පූර්ණ චිත්‍රයක් හිතේ මවාගෙන ඇස් ඇරලා ඊලඟ ටික කියවන්න.

        සමහරුන්ට නම් දැන් මතක් වෙනව ඇති පොතක තිබ්බ රහතන් වහන්සේ කෙනෙක්ගේ ගති ලක්ෂණ. එහෙමත් නැති නම් හාමුදුරු කෙනෙක් බණකට දේශණා කරපු රහතන් වහන්සේ කෙනෙකුගේ ගති ලක්ෂණ. ඒ හැර අපි කවදාවත් රහතන් වහන්සේ කෙනෙක් යැයි ස්ථීරවම සම්මත කෙනෙක් දැකලත් නෑ.., අපි වත් අපේ මුතුන් මිත්තන්වත් අපේ කවුරුවත් අපි දැකලවත් නෑ.. අපේ හිතේ තියෙන්නේ අපි අහපු දේවල් වලින්, දැකල තියෙන චිත්‍ර වලින් අපේ හිතේ ඇඳුණු චිත්‍රයක් නේද??

        අන්න ඒ නිසා මම කවදාවත් අන්න ඒ අපි මුළින්ම කිවුව හාමුදුරුවන් වහන්සේව රහතන් වහන්සේ කෙනෙක් කියලවත්, එහෙම නෑ කියලවත් කියන්න, විශ්වාස කරන්න යන්නෙ නෑ,,, මොකද ඊට කලින් අපි හිතන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.. අනික බුදුහාමුදුරුවන් වහන්සේම දේශණා කරලා තියෙනවා හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ට බණින එක බොහොම පවු කියලා...

        අපි ජීවත් වෙනකොට අපිට විවිධ අත්දැකීම් ලැබෙනව. අපිට සමහර අවස්ථා වලට බොහොම සතුටු හිතෙනව. ඒ වගේම සමහර අවස්ථා වලට බොහොම දුකත් හිතෙනවා.. ඒ කියන්නේ අපි දන්නෙත් නෑ අපිට කොයි වෙලාවේ ඒවා ලැබෙයිද කියල.. ඒ වගේම සමහර මිනිස්සු උප්පත්තියෙන්ම බොහොම පොහොසත් පවුල් වල. සමහරු දුප්පත්ම පවුල් වල. දුප්පත් පවුල් වල ඉන්න අය හිතනව අපි මහ කරුමක්කාරයෝ, අපිට ජීවිතයක් නෑ කියලා. ඒත් පොහොසත්ම පවුල් වල ඉපදුන කෙනෙක් උනත් තමන්ට ඕන දේ ලැබුනෙ නෑ කියල හෝ මොකක් හරි ප්‍රශ්ණයක් උන නිසා සිය දිවි නසා ගන්නව අපි ඕනෙ තරම් දැකල තියෙනවා. 

        ඔයාටත් අන්න ඒ වගේ ප්‍රශ්ණයක් ආව වෙලාවක් ගැන හිතන්නකො. ජීවිතේ අසරණම වුන වෙලාවක්. මං උදාහරණෙකට ගන්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ උන වෙලාවක්. මොනවා හරි ඔයාගෙ ප්‍රශ්ණයක් නිසා, ඔයාට තරහ ගියා, ඔයා එයාට බැන්නා, දැන් එයා තරහයි. එයා ඔයා එක්ක තිබුණු සම්බන්ධ කම් අතෑරලා යන්නයි ලෑස්තිය. ඔයා අඬලා වැඳ වැටුණත් එයා යන්නමයි ලෑස්තිය. අන්න ඒ වගේ වෙලාවක ඔයාට ඕනේ එයාගෙ හිත හදලා සමාව අරන් තමන්ගෙ වැරැද්දත් හදාගෙන ආයෙත් සතුටින් ඉන්නද? නැත්නම් හිත හදාගන්න බණක් අහන්නද? අපි පෘථග්ජන මිනිස්සු විදියට අපි ඇත්තටම ආසයිනේ පළවෙනි විසඳුම අපිට ලැබෙනවනම්. අන්න ඒ වෙලාවේ ඒ විසඳුම ලැබෙනවනම් ඒ වෙනුවෙන් අපි ඕනම දෙයක් කරන්න ලෑස්තියි.

        හැබැයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශණා කලේ සමබර දහමක්. හැම දේම උන්වහන්සේ දේශණා කරලා තියෙනවා. ඒ වගේම බුදු දහම කියන්නේ ජීවන රටාවක්. බුදුහාමුදුරුවෝ දේශණා කරල නෑ හැමෝම මහණ වෙන්න කියලා. උන් වහන්සේ දේශණා කලේ හරියට ජීවත් වෙන හැටි. බිස්නස් එකක් කරනවනම් ඒක දියුණු කරගන්න හැටි. පවුල් ජීවිතයක් ගෙවනවනම් ඒක සතුටින් ගෙවන හැටි. ස්වාමියා විසින් භාර්‍යාවට, භාර්‍යාවගෙන් සැමියාට යුතුකම් ඉටු කරන හැටි. ඒත් දැන් ස්වාමීන් වහන්සේලා දේශණා කරන බණ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? 

        සසර අනියතයි.. ඔව්. ඇත්ත. ඒත් බුදුරජාණන් වහන්සේ දේශණා කළේ නෑ සසර අනියතයි නිසා ඒ සසර ගැන කළකිරෙන්න. හැබැයි උන් වහන්සේ දේශණා කළා ඒ බව දැනගෙන ජීවත් වෙන්න. අනියත වූ සසරේ සත්‍ය සොයා යන්න. සරළවම, පැහැදිලිවම කියනවනම් උන් වහන්සේ දේශණා කළේ ප්‍රශ්ණයක් ඇති වුනානම් ඒක නිවැරදිව විසඳාගන්න ක්‍රමය. ඒ වගේම සසර ගමණ කෙටි කරගන්න වීර්‍යය වඩන ක්‍රමය. මේ ආත්මෙදි බොහොම දුක් විඳලා විඳලා උන් වහන්සේ ලඟට ආපු පටාචාරාවට බුදුරජාණන් වහන්සේ දේශණා කලේ නෑ සසර අනිත්‍ය බව. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඇයටම ඒ සසර චක්‍රය ගැන තේරෙන ආකාරයට ඒ ගැන පැහැදිලි කලා.. දැන් ඔයාලට තේරෙනව ඇති මං අර කිවුව ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ කතාව ගැන. ඔයා හිත හදාගන්න බණක් අහන්න අකමැති උනේ ඒ ඔයාට ඒ වෙලාවේ ඒකෙන් වැඩක් නැති නිසයි. පටාචාරාවට එවෙලේ බණ කිවුවනම් ඒක කවදාවත් ඇය තේරුම් ගන්නෙ නෑ. ඒ වගේමයි ඔයාගෙ හිතේ ඒ දුක තියෙනකම් කවදාවත් ඔයා ඒ බණ තේරුම් ගන්නෙත් නෑ.

        බුදුරජාණන් වහන්සේ අපිට දේශණා කළ නියම බුද්ධ ධර්මය අපි දැනගන්න ආසයි. හැබැයි මේකතාව කියවන ඔයාලගෙන් 99%කට වත් මම හිතන්නෙ නෑ පාළි හෝ සංස්කෘත භාශාවෙන් තියෙන දෙයක් කියවලා තේරුම් ගන්න. ඒ නිසයි අපි ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් බණ පදයක් අහන්නේ. හැබැයි ඇත්තටම හාමුදුරු කෙනෙක් කියන දෙයක් ඔයාට විශ්වාසයිද? මං කියනව ඇත්තටම ඔයාට විශ්වාස නෑ. මොකද ඔයා බණ අහන වෙලාවෙ ඔව් ඔව්, ඒක නම් ඇත්ත තමා. සාධු සාධු කියල කිවුවට පන්සලෙන් එලියට එද්දි ආපහු සාමාන්‍ය ජීවිතේටම ඇවිල්ලා ඉවරයි. මළ ගෙදර බණ ගෙදර අරක්කු බොන්නයි ලෑස්තිය. එහෙම නැත්නම් බූරු ගහන්න.

         ඔන්න ඔය අස්සේ කරලියට එනවා අමුතු දහමක් දේශණා කරන හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. උදාහරණෙකට ගමු අපි කොටුවෙ හාමුදුරුවෝ. සමහර මිනිස්සුන්ට ඒ බණ තේරුණා. සමහරු ඒ හාමුදුරුවෝ වටා එක් උණා. සමහරු බැන්නා. සමහරු ඒ හාමුදුරුවෝ වට්ටන්න උත්සහ කලා. ඔන්න ඔය වගේ නොයෙකුත් කරුණු කාරණා වුනා. 

        දැන් එමු අපි කතාවේ මූල බීජයට... සමන්තභද්‍ර හාමුදුරුවෝ. ඔන්න ඒ හාමුදුරුවොත් කරලියට ආවා. ඒ හාමුදුරුවෝ ධර්මය දේශණා කරන ආකාරය වෙනස්. ඉන්න පන්සල වෙනස්, යන වාහනේ එකී මෙකී නොකී හැම දෙයක්ම අපි එක එක්කෙනා එක එක තැන් වල කියනවා දැකල තියෙනව..

        මෙන්න මේ වෙනස් හාමුදුරුවරුන්ට සමාජයෙන් පිළිකුළක් එන්නේ ඇයි? ඇයි බනින්නේ? මොන හේතුවකටද කියලා ඔයාලා බැලුවාද? ඇත්තම කාරණාව නම් අපේ මිනිස්සු හොයලා තියෙන්නේ උන් වහන්සේලාහේ හැසිරීමයි, උන්වහන්සේලාගේ දේශණ විලාසයයි, උන් වහන්සේලා සතු වත්කමයි අනම් මනම් නේද? ඒක නේද මිනිස්සු බණින්න හේතු උනේ?

        සමහර ධර්ම කාරණා පොත් පත් වලින් දැණ උගත් මිනිස්සු ඉන්න පුළුවන්. සමහර හාමුදුරුවන් වහන්සේලා සමහර ධර්ම කාරණා වැරදි විදියට වටහාගෙන දේශණා කරනවා වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ දැණුමේ තරම තමයි. අන්න එහෙම උනාම අපි කාවද විශ්වාස කරන්නේ? කාගෙන්ද උපදෙස් ගන්නෙ? හොඳ ප්‍රශ්ණයක්.

        බුදුරජාණන් වහන්සේ අන්න ඒකට මෙහෙම දේශණා කරලා තියෙනවා.. "අත්තානංච උපමං කත්වා..." තමාට උපමා කරගෙන බලන්න. ඒ කියන්නේ අපි හිතමු හාමුදුරු වහන්සේ නමක් දේශණා කලා සත්තු මරන්න එපා කියලා. පවු පිරෙනව කියල. අපායෙ යනව කියල. ඒක කොහොමද ඔයා විශ්වාස කරන්නෙ? ඇත්තටම විශ්වාස කරන්න බැරි දෙයක්නේ. අපිට පේන ඇහෙන දෙයක් නම් විශ්වාස කරන්න තිබ්බා නේද.. එහෙනම් අපිට විශ්වාසකරන්න ඒ ගැන හරියටම දැනගන්න ඕනේ..

        සත්තු මරණ එක පවු කියල දැනගන්න නම් ඔයා ඉස්සෙල්ලම ඔයා තමයි සතා කියල හිතන්න. දැන් ඔයාට ඔන්න පවුලක් ඉන්නව. ඔයා ඔයාට ලෙඩ වුනාම දුකයි. අමාරුයි. ඔයා අතක් පයක් කැඩුනොත් බොහොම දුකයි. අමාරුයි. ඔයාව කූඩුවකට දාලා හෙට මරණවා කිවුවොත් කොහොමද ඔයා ඒක දරාගන්නේ? ඔයාගෙ අම්මා තාත්තා දරුවෝ දාලා කොහොමද හෙට මැරෙන්නේ? මරණේ වේදනාව දරාගෙන කොහොමද ඉන්නෙ? එහෙනම් ඒ සතාට දැණෙන වේදනාවත් එහෙමමයි නේද? එහෙනම් ඇත්තටම ඒ සතා පවු කියලා ඔයාට කියවෙනවා නේද? අන්න දැන් ඔයාට තේරෙනවා ඇයි සතෙක් මරන්න හොඳ නැත්තේ කියලා...

       හොරකම් කරන්න එපා කියල කිවුවත් ඒක පිළිගන්න කලින් මෙහෙම හිතන්න පුළුවන්. මගේ පර්ස් එක රුපියල් 50,000ක් එක්ක අද නැති උනානම් මට මොනවා දැනෙයිද?............... එහෙම හිතද්දි ඔයාට තේරෙනවා ඇත්තටම සොරකම් කරන්න හොඳ නැත්තේ ඇයි කියල.

        එතකොට කොහොමද මේ කතන්දරේ හාමුදුරු කෙනෙක් විශ්වාස කරන්න යොදාගන්නේ? මම නම් කියන්නේ එකම එක හාමුදුරු කෙනෙක්වත් කීව පලියට ඔයා කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. ඒ වෙනුවට හාමුදුරු කෙනෙක් කියන දෙයක් හිතේ තියෙන අවිශ්වාසය, සැකය හිතින් බිමින් තියල ඉතා හොඳ සිහියෙන් අහන්න, අහගෙන මතක තියාගන්න. ඊට පස්සේ නිදහස් හිතින් අර මං කිවුව විදියට එක කාරණාව කාරණාව හිතල බලන්න මේක මට උනානම් කොහොමද? ඒකෙන් මට හොඳක්ද වෙන්නේ, නරකක්ද? මට හොඳක් උනාට ඒකෙන් අනික් අයට නරකක් වෙනවද? අන්න එහෙම හිතලා බලලා ඔයාට නිවැරදි දේ ඔයා පිළිගන්න. 

        අවසාන වශයෙන් මම කියන්නේ රහත්ද සෝවාන්ද සකෘදාගාමීද කියන එක හොයන්න යන්න එපා කාගෙවත්. මොකද එහෙම තිබුණත් ඒක ඒ පුද්ගලයාට තියෙන දෙයක්නේ. ඒකෙන් ඔයාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒ නිසා හැම බණක්ම අහන්න. හැබැයි තමන්ට උපමා කරලා බලලා විතරක් පිළිගන්න. මං මේ කිවුව කතාව ඇත්තද කියල ඒකත් මං කිවුව විදියටම හිතල බලන්න. හිතලා ඇත්තක් තියෙනව කියල ඔයාට දැනෙනවනම් මට කමෙන්ට් කරලා ඒ ගැන කියන්න.

======================================================================

.

======================================================================

ඔයාලගේ අදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙන යන්න.

තෙරුවන් සරණයි.

Post a Comment

0 Comments