වෙලඳ දැන්වීම්

"ණය" ගැනීම, ගෙවීම, නොගෙවීම සහ ප්‍රථිඵලය.



ෆේස්බුක් එකේ ගියපු පෝස්ට් එකක් දැකලයි මේක ලියන්න හිතෙන්නේ මට. එක්තරා පේජ් එකක එක්තරා කෙනෙක් පෝස්ට් එකක් දාලා තියෙනව මෙන්න මෙහෙම.

"කෑශ්වැගන් එකෙන් මට තර්ජනය කරනවා සල්ලි ගෙවන්න කියලා. මම මොකද කරන්නේ"

කියලා. ඒකට මම ඒක දකිනකොටත් කමෙන්ට්ස් 150ක් වගේ තියෙනවා. සමහර පුද්ගලයන් දාලා තියෙන කමෙන්ට්ස් මෙන්න මේ වගේ..

1. මං නම් කෝල් කරන නම්බර් එක බ්ලොක් කරනවා. මුං පහුවදාට අළුත් නම්බර් එකකින් ගන්නවා කියහංකෝ

2. උඹ කියපන් නඩු දාන්න කියල. වැඩේ හරි

3. දෙන්න එපා කුණුහරපෙන් බැනපන්. ගත්තේ නෑම කියපන්. ගත්තා කිවුවොත් උන් ඒවා පෲෆ් හැටියට තියාගන්නවා. උන් නඩු දාන්නෙ නෑ දැම්මත් වැඩක් නෑ.

4. ගෙවන්න එපා බන්. උන්ට කරන්න පුළුවන් කෝල් අරන් බය කරන එක විතරයි වෙන මොකුත් කරන්න බෑ උඹ බය නොවී හිටු අපේ පැත්තෙත් ගොඩාක් උන් අරන් ගෙවුවේ නෑ බන් මං විතරයි මේ අපේ පැත්තේ ගත්ත නැති එකම එකා හිටුකො මාත් ගන්නවා

5. ඔකුණුත් නීති විරෝධී වැඩක් කරන්නෙ ඔවුන්ට නඩු දානවත් බැහැ ගෙවන්න ඕනි නෑ

හ්ම්ම්... මේ ප්‍රශ්ණයම මීට කලිනුත් කීප දෙනෙක් කතා කරනවා මම අහල දැකල තියෙනව. හොඳයි, අපි මෙහෙම හිතමු.

ඔයාගේ යාළුවෙක්ට, හොඳම යාළුවට සල්ලි හදිස්සියක් වෙනව. හදිස්සියට වෙන කවුරුවත් නැති අවස්තාවක ඔයාගෙන් පොඩි ගාණක් ණයට ඉල්ලගන්නව. මචං අනිද්දට දෙන්නම් කියල. දවස් දෙකක් යනව. යාළුවා සල්ලි දෙන පාටක් නෑ. දවස් 4ක් විතර ගියාම ඔයාම ආපහු සල්ලි ඉල්ලන්න හිත හදාගෙන කෝල් එකක් අරගන්නව.

"මචං මට අර ගාන අද ගන්න පුළුවං වෙයිද? "

"අද නම් අතේ නෑ බං. ශුවර් මං හෙට දෙන්නම් ආ."

ඊලඟ දවසෙත් ඔයා කෝල් එකක් ගන්නව.

"හරි හරි බං. මං රට දාලා යනවයෑ. අද අතේ නෑ. හෙට දෙන්නම්."

හෙටත් ගන්නවා කෝල් එකක්.

"ඔබ ඇමතූ අංකයෙන් ප්‍රථිචාරයක් නැත"

මොනවද ඔයාට දැනෙන හැඟීම? අපි හැඟීම් ගැන කතාව පැත්තකින් තියමුකෝ. ඒ වැඩේ ඇත්තටම සාධාරණද? ඔයා ඉල්ලපු වෙලාවෙ සල්ලි දුන්නේ විශ්වාස කරලා. සමහරවිට මොනවාහරි වැඩක් කරගන්න තිබුණ සල්ලි. කාටවත් සල්ලි නිකන් හම්බවෙන්නෙ නැහැනේ.. කවුරු උනත් මහන්සි වෙලා හම්බකරපු දෙයක්. දැන් හොඳම යාළුවට පොඩි ගානකට නඩු දාන්නද? පොඩි ගානකට නඩුවක් දැම්මොත් නඩු ගාස්තුම ඊට වඩා යන්න පුළුවන්. නඩුවකුත් දැම්මයි කියමු. කෝ ඔප්පු කරන්න සාක්ශි? ලියකියවිලි?

අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිහට ආයේ හදිස්සියක් උනාම කීයක් හරි ඉල්ලගන්න කෝ මනුස්සයෙක්? උදවුවක් ගන්න කෝ කෙනෙක්? ණය ගන්නකන් තිබ්බ හදිස්සිය ඇයි ගෙවන්න නැති උනේ? 

දැන් ආපහු එමු කැශ්වැගන් කතාවට.. ඔයාට සල්ලි හදිස්සියක් වෙනවා. ලඟ පාත නෑයෙක් ලඟවත් මුදලක් නැති වෙලාවක ඔය වගේ ආයතනයකින් ණයක් ගන්නවා.. බොහෝවිට තව මනුස්සයෙක් හෝ දෙන්නෙක් ඇප වෙන්නත් ඕන ණයක් දෙන්න. කොහොම හරි ගත්තා. වැඩෙත් කරගත්තා. ඔය ණය බැංකුවකින් ගන්න උනානම් හිතන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද. හදිස්සි ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න බැංකු ණයක් එනකම් හිටියොත් ලෙඩාට දානෙ දෙන්න තමා වෙන්න කියල අපි හැමෝම දන්නවනේ. ඒ වගේම බැංකුවකින් ණයක් ගන්න නම් ණයක් ගන්න තරම් අපිට අහේනියන් නැති බව ඔප්පු කරන්නත් ඕනනේ නේද. ඉතිං හිතන්න ඇත්තටම ඒ අවස්ථාවෙ ඒ මුදල අපිට නොලැබුණානම් අපි කොයිතරම් අසරණ වෙනවද? 

ණයත් අරන් වැඩෙත් උනාම ඇයි අමතක කරන්නේ ණයක් තියෙනවා කියලා? මිනිස්සු හරි ලස්සන හේතුත් හදාගන්නවා ණය නොගෙවා ඉන්න. බලන්නකෝ උඩ කමෙන්ට්ස් ටික..

කම්පැනි එකක් වෙන්න පුළුවන් ණය දුන්නේ. හැබැයි ඒක එයාලගේ බිස්නස් එක. එයාලා නොහිටින්න කවුද ඒ වගේ හදිස්සියකට ඒ වගේ ණයක් දෙන්න ඉන්නේ? 

"හපෝ ඒකේ ගිනි පොලීනේ. කොහොමද ඔච්චර ගෙවන්නේ?" තවත් හේතුවක්. ඒත් ඔයා ණය ගන්න කලින් ඒක හිතුවද? ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවද? පොලියත් එකතු උනාම කීයක් වෙනවද? ණය ගෙවන්න කොච්චර කාලයක් තියෙනවද? ඒවා ඇත්තටම ණයක් ගන්න කලින් අපි හිතන්න ඕන දේවල්.

"නඩු දාන්න බෑනේ. කෝ සාක්ශි?" සාක්ශියක් නැතිව ණයක් දීපු එකද එතකොට ඒ කම්පැනි එක කළ වරද? ලෙඩේ වැඩිවෙලා ඒ මිනිහා මැරෙන්න කලින් සාක්ශි හොයන්නයි අනම් මනම් වලට කාලය නාස්ති නොකර අවශ්‍ය වෙලාවට සල්ලි ටික දීපු එකද ඒ කම්පනි එක ඔයාට කළ වරද?

හිතන්න කොච්චර නම් දේවල් තියෙනවද?

මං හිතන්නේ මේ ණය නොගෙවන මිනිසුන්ගෙන් 50%ක්ම හරි හැටි නොදන්න නිසා, එහෙම නැත්තම් ඒ ගැන නොහිතපු නිසා හෝ කියාදෙන්න කෙනෙක් හිටියෙ නැති නිසා සහ ඉහත කමෙන්ට්ස් වල තියෙනවා වගේ වැරදි ආදර්ශ නිසා නොමග ගියපු අය. අන්න ඒ වගේ කෙනෙක්ට මේ කියන ටික වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතිරි 50% ගැන කියන්න දෙයක් නෑ. එයාලා හිතා මතාම එහෙම දේවල් කරන අය.

ණය නොගෙවුවම මොකද වෙන්නේ?

ඉස්සෙල්ලම අපේ නම බ්ලැක් ලිස්ට් වෙනවා. ඒ කියන්නේ ඒ කම්පැනි වලින් නඩු දැම්මත් නොදැම්මත් එයාලා හැම මුල්‍ය ආයතනයකටම, හැම බැංකුවකටම අපේ විස්තර දෙනවා ආයේ කවදාවත් ණයක් ගන්න බැරිවෙන්න. එතකොට ආයේ ජීවිතේ කවදාවත් ඔයාට ඒ වගේ ණයක් වත් දෙන්නෙ නෑ ආයතනයකින්. එදාට ඉතිං ගමේ ඉන්න පොළී කාරයාගේ පිහිට තමයි. තමන්ගේ ගේ දොර උකස් තියලා, වාහනේ උකසට තියලා ණයක් ගන්න උනාම මොනාද වෙන්නේ කියලා හිතලා බලන්න..

ඊලඟට කාරණාව නම් මේකයි. සාමාන්‍යෙන් ඔයාට ණය ගන්න ඇපේට අත්සන් කරන්නේ හොඳම හිතවත් කෙනෙක් නැත්තම් දෙන්නෙක්. ඔයා ණය නොගෙවා මගඅරිනකොට හැමදාම අර මිනිස්සුන්ටත් කෝල් යනවා. ඒ මිනිස්සු හිත හොඳකමට අත්සන් කලාම එහෙම ඒ මිනිස්සු අමාරුවේ දාලා ඔයා නිකන් හිටියම ආයේ ඒ ගැන දන්න කෙනෙක්වත් ඔයාට රුපියලක්වත් ණයක් දෙයි කියලා හිතන්න එපා..

වැදගත්ම කාරණාව මේකයි මහත්තයෝ.. ඔප්පු කළ හැකි කිසිම සාක්ශියක් ඇතත් නැතත්, ඔයාගේ හර්ද ශාක්ශිය හොඳටම ඇති ඔයාට මේ ණය ගෙවනකම්ම පොළී එක්ක දඩුවම් දෙන්න. හොඳට හොයලා බලන්න අනුන්ගේ සල්ලි වලින් වැජඹෙන මිනිස්සු දිනෙන් දින මොකද වෙන්නේ කියලා.. දවසින් දවස පරිහාණියට පත් වෙනවා.. ජීවත් වෙන්නේ බයෙන්. අතේ සතේ නෑ. දස අතේ ණය. ඇයි අපි විහින් ඒ තත්වෙට වැටෙන්නේ..? තව සමහරු දැකල ඇති කොච්චර හම්බ කළත් අතේ කිසිම ඉතිරියක් නෑ. ඒ මොනව වෙලාද? ඔයාම හිතලා බලන්න..

පින් පවු හැමදාම අපි පිටිපස්සේ එනවා.. ඒක සොරකමක්. අනුන්ගේ මුදලක් බලෙන් පැහැරගැනීමක්. අද නැතත්, හෙට නැතත්, සසරේ කවදාහෝ ඒ ණය ගෙවන්න වෙනවාමයි. බල්ලෙක් බළලෙක් වෙලා ස්වාමියාට සේවය කරලා ඒ ණය ගෙවන්න වෙනවාමයි. පිටරට ගිහින් අනේක දුක් විඳලා විඳලා ගුටි කාලා අන්තිමට සතපහක් නැතිව සිඟමන් තත්වෙටම වැටිලා එන අය ඕන තරම් දැකලා ඇති නේද? ඒ පෙර කළ අකුසළ කම් ගෙවන හැටි. පහුගිය ආත්මයක තිබ්බ ණයක් බැල මෙහෙවරකම් කරලා ගෙවන හැටියි ඒ...

ඔයා හෝ ඔයා දන්න කෙනෙක් හෝ මේ වරද දැනටමත් කරනවනම් පුළුවන් තරමින් හරි නිවැරදි දේ කියාදෙන්න බලන්න.

ඉස්සෙල්ලාම ඒ ණය දුන්න ආයතනයට යන්න. ගිහින් මැනේජර් මහත්තයාව හම්බවෙන්න. සමහරවිට බනීවි. හිත හදාගන ඉන්න ටිකක් තරහ පිට වෙනකන්. මොකද වරද ඔයාගේ.. ඔයා එයාට ඇඟිල්ල දික් කරනකොට ඔයාගේ අතින්ම ඔයාට ඇඟිලි 4ක් දික් වෙන බව සිහි තියාගෙන කටයුතු කරන්න. මැනේජර්ට කියන්න මං අතින් පරක්කු උනා තමයි. හැබැයි මං ඒක මෙන්න මේ දවසට දාන්නම්.. 

අපි හිතමුකෝ පොලී අනම් මනම් එකතු වෙලා ලොකු ගාණක් හැදිලා කියලා දැනටමත්. ඒම වෙලාවක ඔයා කියන්න මං මෙච්චර මුදලක් මේ දවසට දෙනවා, ඉතිරිය මේ මේ විදියට මේ මේ දවසට ගෙවන්නම් කියලා.. අවස්තාවක් අනිවාර්‍යයෙන් හම්බවේවි ඔයාට. ඒ විශ්වාසය ඒ විදියටම ආරක්ශා කරගෙන කියපු විදියටම කරන්න. ඔයාට පුළුවන් තරමින්..

මං හිතනවා මං කියන්න උත්සාහ කරන දේ තේරෙනවා ඇතියි කියලා දැන්..

හැම දේකම හොඳ පැත්තක් නරක පැත්තක් තියෙනවා.. පිහිය වගේ. පාවිච්චි කරන විදිය අනුවයි හොඳ නරක තීරණය වෙන්නේ.. පිහියෙන් බෙල්ල කැපුවොත් ඒක දරුණු ආයුධයක්. ඒකෙන් එලවළු කැපුවොත් වටිනා උපකරණයක්. මේ ණයත් එහෙමයි, අරෙගන හරියට පාවිච්චි කලොත් ඒක බොහොම වටින උපකරණයක්. ඒ වගේම ණයක් අරන් තමන්ගේ යුතුකම් ඉටු නොකළොත් දිනෙක එය ආත්මීය පාරාවළල්ලක් වේවි ඔබටම.

කතාවට මුල් උනු ෆේස්බුක් පෝස්ට් එකේම අතරින් පතර 40%ක් වගේ මං මෙන්න මෙහෙම කමෙන්ට්ස් ටිකකුත් දැක්කා..

1. දාපන් දාපන්. තව එකෙකුට ගන්න නැත්නම් ඕවා නැති වෙලා යාවි.

2. සල්ලි ගෙවන්න. තමන් තමන්ට අවංක නොවුනොත් තමන්ට සල්ලි ගෙවන් නැති පිරිසත් වැඩි වෙයි.. වගකීමෙන් වැඩ කරන මීනිහෙක් වෙන්න.

3. ගෙවන්න බැරි නම් ගන්න එපා බන්. වැඩේ ඉවරයි.

4. ගත්තනම් ගෙවහන් බන්. තව එකෙක්ට හදිස්සියකට ගන්න තියෙන අවස්ථා නැති කරන්න එපා.

5. සල්ලි ගත්තනම් ගෙවන එක හොඳ නැද්ද. උනුත් බිස්නස් එකක්නෙ කරන්නේ.

ඔව්න් නිවැරදි දේ නිවැරදි විදියට දැක්ක මිනිසුන්.. තවත් කෙකෙන් දෙයක් ඇහුවම හරි උපදෙසක් දීමම ඔවුන් කරගත් ලොකු කුසළයක්. ඒවා දිනක ඔවුන්ට තියේවි.. ඔවුන්ට තව තවත් හරියන්න, ලැබෙන්න කියලා මමත් හදවතින්ම ප්රාර්ථනා කරනවා..

මතක තියාගන්න "විශ්වාසය කියන්නේ හොඳම ඇපයක්" ඒ වගේම "විශ්වාසය කියන්නේ වීදුරුවක්." එක වරක් කැඩුනම කැඩුනම තමයි.. ඔබට ජය!

======================================================================



======================================================================

ඔයාලගේ අදහස් තියෙනවනම් කමෙන්ට් කරගෙන යන්න.

Post a Comment

2 Comments

  1. මය සල්ලී හදීසීයක්

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ.. ලියන්න හිතුනේ මේ වෙන දේවල් දැකලමයි..

      Delete